Header Ad

Header Ad

කඳුරුගස් ආර එළිමහන් සිරකඳවුරේදී ඝාතනයට ලක්වූ තාත්තා වෙනුවෙන් හඬනඟන දුවෙක්..!

මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය මහ දහවල් අමු අමුවේ උදුරා ගන්නා රටවල් අතරින් ලංකාවත් ප්‍රධාන රටක් කීවට වැරදි නැහැ. මෑත ඉතිහාසය පිළිබඳව කතා කළ විට 1983 කළු ජූලිය, 1988-89 ජන සංහාරයේ ඉදලා උතුරු නැගෙනහිර යුද්ධය ඇතුලු බොහෝ සිදුවීම් ගැන කතාකරන්න පුලුවන්. මේ බොහෝමයක් තැන්වලදී මිනිසුන් අනීතිකව ඝාතනයට ලක්වුණා. මෙහිදී අනීතිකව කීවාම නීතියට අනුව ඝාතනය කරන්නට පුලුවන් වගේ අදහසක් මතුවෙනවා. ලංකාව දීර්ඝ කාලයක් මරණ දඬුවම පනවන්නේ නෑ, ඒ තත්ත්වය තුළ නීතියට අනුවවත් මනුෂ්‍ය ජීවිතයක ජීවත්වීමේ අයිතිය උදුරාගන්න අපිට බැහැ. නමුත් දවසින් දවස මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය උදුරාගනිමින් තිබෙනවා. 2012 නොවැම්බර් 09 වෙනිදා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙක් ඝාතනයට ලක් වෙන්නේ හමුදාව සහ පොලීසිය අතින්. ඒ වගේම 2020 නොවැම්බර් 29 සහ 30 කියන දින දෙක තුළ මහර බන්ධනාගාරයේ රැඳිවියන් 11 දෙනෙක් ඝාතනයට ලක්වෙනවා. නෙල්සන් මැන්ඩෙලා එක තැනක කියනවා යම් සමාජයක් සිරකරුවන්ට සලකන ආකාරය අනුව ඒ සමාජය හිතන විදිහ ගැන මූලික අවබෝධයක් ගන්න පුලුවන් කියලා. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රඳවලා සිටින සිරකරුවෙක් හෝ සැකකරුවෙක් මේ විදිහට ඝාතනයට ලක් වෙනවා නම් විවෘත සමාජය ගැන කවර කතාද?

දිලානි මංජුලාගේ කතාව

ඉහත පසුබිම තුළ හිඳිමින් අපි මාතර කනංකේ ජීවත්වෙන දිලානි මංජුලාගේ කතාව ඇසිය යුතුය. ඇය වයස 32ක දෙදරු මවක් වන ඇය කියන කියන්නී කඳුළු කතාවක් ය.

‘මගේ තාත්තා හෙට්ටිගේ ලලිත් චමින්ද. 2010 අවුරුද්දේ තමයි රුපියල් 10000ක් හොරකම් කළා කියලා කනංකේ පොලීසිය තාත්තාව අත්අඩංගුවට ගන්නේ. ඒ වෙලාවෙත් නොසෑහෙන්න ගහලා තමයි තාත්තාව අරගෙන යන්නේ. මේ හොරකම ගැන තාත්තට විරුද්ධව මාතර අධිකරණයේ නඩුවක් ගොනු වෙන්නේ 2010 අවුරුද්දේ. 2010 ඉදලා 2022 වෙනකම් නඩුව යනවා. අපි අවුරුදු 11ක කාලයක් රුපියල් 10000ක හොරකම නිසා ලක්ෂ හතරක් විතර වියදම් කරනවා මේ නඩුවට. කොහොම වුණත් අන්තිමට මාතර මහාධිකරණය තාත්තා මේ හොරකමට වැරදිකරු කරලා අවුරුදු 3ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම කරනවා. ඊටපස්සේ මාතර බන්ධනාගාරයට ඇතුල් කරනවා. එතන මාස තුනක් විතර තමයි ඉන්නේ. ඊටපස්සේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට තාත්තාව යොමුකරනවා. එතන මාසයක් වගේ තියාගෙන කඳුරුගස් ආර එළිමහන් සිරකඳවුරට තාත්තාව යොමුකරනවා. එහේදි තමයි තාත්තාව ගහලා මරලා දාන්නේ’

මාතර, කනංකේ කඩවීදිය, කන්දෙවත්ත ලිපිනයේ පදිංචි 49 වයස් සිව් දරු පියෙකු වූ හෙට්ටිගේ ලලිත් චමින්ද   2010 වර්ෂයේ එක්තරා දිනක, නිවසකට පැන රුපියල් 10000ක මුදලක් සොරකම් කළා යන චෝදනාවට අදාළව මාතර අධිකරණයේ පැවති නඩුකරයකදී වරදකරු වෙන අතර, එහිදී ඔහුට බරපතළ වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් නියමවෙයි. ඒ අනුව 2021.03.19 දින ඔහු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයටත් ඉන් අනතුරුව 2021 අප්‍රේල් මාසයේදී ඇඹිලිපිටිය කඳුරුගස් ආර එළිමහන් සිර කඳවුර වෙත ද යොමු කර ඇත.

මෙසේ කඳුරුගස් ආර එළිමහන් සිරකඳවුරට ඇතුල් කළ පසුව අවුරුද්දකට ආසන්න කාලයක් එහි හොඳින් කාලය ගත කළ ලලිත් චමින්ද නිතරම සිය ගෙදර හා දූරකථනයෙන් සම්බන්ධවී ඇත. බන්ධනාගාරයේ සිරගත ජීවිතයක් ගතකරන පුද්ගලයෙක් සතිකට වරක් සිය ගෙදර හා දූරකථනයෙන් සම්බන්ධ වෙන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ සැකයක් ඇති කරගත යුතු නැත. මුදල් යහමින් තිබේ නම් එවැනි ක්‍රියාවන් ලංකාව තුළ අමාරු දේවල් නොවෙන බව කිව යුතුය.

‘තාත්තා හිරේ ගියාට පස්සේ පවුලේ සම්පූර්ණ බර අම්මගේ කරට පැටවුනා. නංගියි මල්ලියි ඉස්කෝලේ යනවා. මම විතරයි විවාහ වෙලා හිටියේ. ඒ තත්ත්වයත් එක්ක අම්මට තාත්තාව බලන්න නිතරම යන්න එන්න වෙන්නේ නෑ. ඒ නිසා ඒ වගකීම මම භාර ගන්නවා. එහෙම යනකොට එනකොට තාත්තාගේ මාර්ගයෙන් මට බන්ධනාගාර නිලධාරීන් මුණගැහුනා. මොකද ඒක එළිමහන් සිරකඳවුරක්. තාත්තා ඇවිත් කතාකරනකොට බන්ධනාගාර නිලධාරීන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් අපි කතා කරන්නේ මොනවද කියලා අහගෙන ඉන්න එනවා. ඒ මත සුහද බවක් ඇතිවුණා.

ඒත් එක්ක තාත්තා මට බන්ධනාගාර නිලධාරීන්ගේ දූරකථනවලින් කෝල්ස් ගන්න පටන් ගත්තා. එහෙම ගත්තාම එයාට රීලෝඩ් එකක් ෆැකේජ් එකක් මම දාන්න ඕනෑ. ඒ දාපු හැම රිසිට් එකක්ම මම ළඟ තියෙනවා. සතියට දවසක් විතර හැමදාම කතා කළා. වීඩියෝ කෝල්ස් ගත්තා. මම බන්ධනාගාරයට ගියත් එයාල සුහදව මාත් එක්ක කතාකරන්න පටන් ගත්තා. තාත්තා කියපු වෙලාවට මම ඒ නිලධාරීන්ට සල්ලි පවා දානවා.

2021 දෙසැම්බර් මාසේ දවසක තාත්තා මට කතාකරලා කිව්වා පුතේ ඔයා අර කෝල් ගන්න සර් කෙනෙක්ට රුපියල් 5000ක් දාන්න පුලුවන් ද කියලා. මම ඇහුවාම ඇයි කියලා, තාත්තා කිව්වා මෙහේ හරියට වැඩ වැඩී කරදරයි, මට ගොඩක් වැඩ දෙනවා එහෙම සල්ලි දැම්මොත් මට වැඩකරන්න දෙන්නේ නෑ කියලා ඒ සර් කීවා කියලා. ඒක නීතිවිරෝධී කියලා දන්නවා, ඒ දැනගත්තත් මගේ තාත්තානේ එතන ඉන්නේ අනෙක තාත්තාට නිදහසක් ලැබෙනවා නම් ඒක ලොකු දෙයක් නේ කියලා මම ඒ සල්ලි බන්ධනාගාරයට යන දවසක ගිහිං දුන්නා.

මොකද ඒ නිලධාරියා වට්සප් හරහා එයාගේ එකවුන්ට් නම්බර් එක මට එවලා තිබ්බත් එදා මට සල්ලි තිබුණේ නෑ දාන්න. ඔය කියන දෙසැම්බර් මාසේ 5 වෙනිදා අපි තාත්තා බලලා ආවා. එක මාසෙකට එක සැරයයි බලන්න දෙන්නේ, ඒත් ඔය සල්ලි ඉල්ලපු සර් මට කෝල් කරලා කිව්වා දෙසැම්බර් 27ත් එන්න තාත්තා බලන්න කියලා. එදාට ප්‍රධාන ජේලර් නෑ වැඩි වෙලාවක් තාත්තා එක්ක කතාකරන්නත් පුලුවන් කියලා කිව්වා.

මමයි අම්මයි නංගියි එදා ත්‍රීවිල් එකක් හයර් එකට අරගෙන ගියා. එදා තමයි මම ඒ සල්ලි ඒ සර්ට දුන්නේ. එතකොට ඒ නිලධාරියා කිව්වා මල්ලි ඇවිත් නෑනේ මල්ලිට බලන්න පොටෝ එකක් ගහගන්න කියලා. වෙනදට අපිට දූරකථනය ඇතුලට අරගෙන යන්න දෙන්නේ නෑ. නමුත් එදා දුන්නා. එදා තාත්තා කිව්වා රුපියල් 25000ක දඩය ගෙවන්න ඕනිත් නෑ මම තව මාස තුනක් ඉදලා එන්නම් කරදරයක් නෑ කියලා. තාත්තා හරි සතුටින් තමයි හිටියේ.’

මෙසේ සතුටින් සිටිය ලලිත් චමින්දට එකවරම සිදුවන්නේ කුමක්ද? එයත් ඇසිය යුත්තේ දිලානිගෙන් මය.

‘ඒ කඳවුරේ ඉඳලා තාත්තා මට ජේලර් මහත්වරුන්ගේ දූරකථනවලින් නිතරම කථා කලා. ඊට පස්සේ එක මහත්තයෙක් මට රෑට කතාකරලා එක එක අයුතු යෝජනා කළා. තාත්තා 2022.01.10 වෙනිදා අංක 070-5882314 දූරකතනයෙන් මට කතා කළ වෙලාවේ මං තාත්තට මේගැන කිව්වා. මීටපස්සේ මට ජේලර් මහත්වරුන්ගේ දූරකථවලින් කතා කරන්න එපා කියලා මම තාත්තට කිව්වා. තාත්තට එදා හොඳටම කේන්ති ගියා. තාත්තා අපිට හරි ආදරෙයි. හිටපංකෝ මම ඕකට හොඳ වැඩක් කරන්නම් කියලා තාත්තා කිව්වා. මම ඔය විස්තරේ මංජුල කියලා නිතරම කතාකරන සර් කෙනෙක්ටත් කිව්වා’.

තාත්තා පැනලා ගිහිං

මෙම දූරකථන ඇමතුම් කතාවෙන් පසුව ලලිත් චමින්ද ගේ කඳුරුගස් ආර සිරගත ජීවිතය යම් වෙනසකට ලක්වී ඇති බව කිව හැකිය. එක දිනක් දූරකථනයෙන් තම දියණිය අමතන ඔහු එහිදී වෙනදා මෙන් නිදහස්ව කතාකර නැත. ඒ බව අපිට කියන්නේ එම දූරකථන ඇමතුමට සවන්දුන් දිලානි මය.

‘2022.01.13 හවස තමයි අඟුණුකොලපැලැස්සේ වැඩකරන අපේ ගමේ සර් කෙනෙක් මට කියන්නේ තාත්තා සිරකඳවුරෙන් පැනලා ගිහිං කියලා. එහෙම කියලා ඔහු මට කියනවා මේ ගැන කාටවත් කියන්න එපා කියලා. නඩුවේ දඩයත් ගෙවන්න එපා කියපු තාත්තා පැනලා යන්න විදිහක් නෑ කියලා මම දන්නවා. 2022.01.14 මම මට කෝල් කරපු හැවෝම සර්ලට කතා කළා. ඒත් එක්කෙනෙක්වත් ආන්සර් කළේ නෑ. පස්සේ මම උදේ 6ට විතර මංජුල කියන සර්ට මැසේජ් එකක් දැම්මා, තාත්තා ගැන විස්තරයක් දැනගන්න මම දැන් බන්ධනාගාරයට එනවා කියලා.

ඒ මහත්තයා ඒ මැසේජ් එකට රිප්ලයි කරලා කිව්වා තාත්තා ගමේ ඉදලා අල්ලගත්තා, අපි ජීප් එකේ දාගෙන ආවා කියලා. ඊළඟට චන්දන කියන සර්ගේ නම්බර් එකටත් මැසේජ් එකක් දැම්මා. ගමේ මිනිස්සු අල්ලගෙන ඉන්නවා බලන්නම් කියලා කිව්වා. මට ඉතිං මේක සැකයි. පස්සේ මට කෝල් කරලා කිව්වා තාත්තා අල්ලගෙන ආවා දැන් අඟුණුකොළපැලැස්සේ ෂෙල් එකට දානවා දවස් 14කින් පස්සේ බලන්න පුලුවන් කියලා. මම ඒ වෙලාවේ ඒ සර්ට කිව්වා අනේ සර් තාත්තට ගහන්න එපා කියලා. මොකද තාත්තා මට කලින් කියලා තියෙනවා දවසක් අඹ කිලෝ 20ක් කඩන්න කියලා අත්ත හොලෝලා අඹ කැඩුවට පස්සේ කිලෝ 20ට වඩා තිබුණා කියලා තාත්තට හොඳටම ගැහුවා කියලා. එහෙම දස වධ සිරකරුවන්ට දෙන කතා තාත්තා මට කියලා තියෙනවා.

ආයෙත් එක මහත්තයෙක් එදාම දවල් 1ට විතර මට කෝල් එකක් අරන් කිව්වා දවස් 14කින් ඇවිත් තාත්තා බලන්න දැන් අපි කෝල්ස් ගත්ත ඒවා, මැසේජ් කරපු ඒවා, ඔක්කොම මකන්න කියලා. ඒ වෙනකොටත් මම ඒ සේරම දේවල්වල ස්ක්‍රීන් ෂොට්ස් ගහගෙන තමයි හිටියේ. 14 වෙනිදා රෑ 9.30ට විතර කනංකේ පොලීසියෙන් අම්මට කතාකරලා කියලා තියෙනවා තාත්තට පපුවේ කැක්කුමක් හැදිලා ඉස්පිරිතාලෙට ගෙනියනකොටම මැරිලා කියලා. මම නම් කිව්වා ඒකනම් වෙන්න බෑ ගහලා වෙන්න ඇති කියලා’

මෙම දැනුවත් කිරීමත් සමග පසු දා එනම් 2022.01.15 වෙනි දින දිලානි තම තාත්තා ගේ මෘත දේහය භාර ගැනීම  සඳහා ඇඹිලිපිටිය රෝහලට යන්නී, ඇයට එහිදී තාත්තාව බලන්නට ඉඩ දී නැත. එහිදී තාත්තාගේ දේහය රැකවල් කරමින් සිටි බන්ධනාගාර නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ තමන් පිටපළාතක බන්ධනාගාරයකින් පැමිණි නිලධාරියෙක් බැවින් තමන්ගෙන් කිසිදෙයක් නො අසන ලෙසය.

තාත්තාගේ මරණ පරීක්ෂණය

‘පහුවදා තාත්තා බලනකොට මුළු මූනම නිල්වෙලා තිබුණේ. තාත්තගේ සාමාන්‍ය හම තිබුණේ නෑ සම්පූර්ණ නිල්ම නිල් පාටයි. මෝචරියට දැම්මට පස්සෙත් යටිපතුල් වලින් ලේ ගලාගෙන ගිහිල්ලා අයිස් වෙලා තිබුණා. යටිපතුල් පලලා තිබුණා අමානුෂික විදිහට. අන්තිමට මරණ පරීක්ෂණයෙනුත් කිව්වේ පොලු පාරවල් 300කට වැඩිය ගහලා තියෙනවා කියලා. වම් තට්ටමේ මිලි ලීටර් 450ක ලේ එකතුවක් තියෙනවා කියලා තිබුණා. දකුණු තට්ටමේ මිලි ලීටර් 500ක ලේ එකතුවක් තියෙනවා කියලා තමයි මරණ පරීක්ෂාණ වාර්තාවේ කියලා තිබුණේ. තාත්තගේ මරණය ගන්න දවස් තුනක් ගියා. අපි මරණ පරීක්ෂණය ඇඹිලිපිටියේ කරන්න දෙන්නේ නැතිව කරාපිටියට ඉල්ලගත්තා. මොකද මම ඇඹිලිපිටිය පොලීසියට ගියාම පැමිණිල්ලක් දාන්න ඒක භාරගන්න බෑ කියලා පොලීසිය කිව්වා.’

ඇය කියන ආකාරයට මෙම ඝාතනය සිදුවී මරණය භූමදානය කර දින හතරක් ඉක්ම යන තෙක් කිසිදු විමර්ෂනයක් කරන්නට පොලීසිය හෝ බන්ධනාගාරය පියවර ගෙන නැත. ඉන්පසුව සිරකරු අයිතිවාසිකම් කමිටුව මෙම සිදුවීමට මැදිහත් වෙන අතර ඉන්පසුව පොලීසිය මෙහි විමර්ෂනයන් ආරම්භ කර ඇත. එහි ප්‍රතිපල ලෙස මේවනවිට කඳුරුගස් ආර එළිමහන් සිරකඳවුරේ ප්‍රධාන ජේලර්ව‍රයා සහ තවත් බන්ධනාගාර නිලධාරියෙක් සිටින්නේ ‍රක්ෂිත බන්ධනාගාර යේය.

මෙම ඝාතනය පිළිබඳව නඩු විභාගය ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක RB 80/2022 යටතේ විභාග වෙමින් තිබෙන අතර මීළඟ නඩු විභාගය 2024.09.07 දින සිදුකරන බව දැනගන්නට ලැබෙයි. මෙම නඩු කටයුත්ත මෙසේ සිදුවුණත් මේ පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කිසිදු විමර්ෂනයක් තවම පවත්වා නැත. මානව හිමිකම් කොමිෂම ද දිලානිගේ පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

ලංකාවේ බන්ධනාගාර තුළ රැඳවියන් 30000ක සීමාව ඉක්මවා ඇත. එක් රැඳවියෙක් සිටිය යුතු තැන රැඳවියන් තුන්දෙනෙක් සිටින බව වාර්තා වෙයි. බන්ධනාගාරයේ තදබදයේ පරිමාව එසේය. එවැනි තත්ත්වයක් තුළ මෙවැනි වධහිංසාවන් පැමිණවීම් මෙන්ම ඝාතනය කිරීම් අප තේරුන් ගතයුත්තේ කෙසේද?

‘හොරෙක් වුණත් ඒ මගේ තාත්තා. එදා තාත්තා ඒ හොරකම කළා නම් ඒක කරන්න ඇත්තෙත් අපිට කන්න දෙන්න. හොරකමක් කළා කියලා මගේ තාත්තව මරලා දාන්න කාටවත් අයිතියක් නෑ. සිරකරුවෝ මනුෂ්‍යයෝ ය කියලා නේද බන්ධනාගාරයේ ගහලා තියෙන්නේ, මම අහන්නේ එතකොට මගේ තාත්තා මනුෂ්‍යයෙක් නෙවෙයිද?’ දිලානිගේ මේ කතාවෙන් අපේ කතාව අවසන් කළ හැකිය. දිලානිට මෙන්ම ඇයගේ තාත්තාට ද යුක්තිය හිමිවිය යුතුය. දිලානි ලා වැනි අසාධාරණයට ලක්වූ මිනිසුන් මේ රටේ කොතරම් ප්‍රමානයක් සිටිත් ද?

-කේ. සංජීව-

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *